විදේශිය හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණයට සහභාගී වන පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවේ ත්‍යාග ප්‍රදානොත්සවය 2019 ජූලි 19 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහභාගී වූ අතර, පාඨමාලාව සඳහා බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින, මොරිෂස්, මියන්මාරය, පකිස්ථානය, තායිලන්තය සහ සෞදි අරාබිය නියෝජනය කරමින් නිලධාරින් සහභාගී විය. තවද ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය තරමින් නාවික පුද්ගලයින් 16 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගිවී සිටියහ.

නාවික හමුදා සම්පත්දායකයින් සහ උපදේශකයින් ‍විසින් ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී සති 02 ක කාලසීමාවක් පැවැති මෙම පාඨමාලාව තුලදි නෞකා ආරක්‍ෂක ක්‍රම, මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සහ ඒවා හඳුනාගැනීම, උපායශීලී සටන් අනතුරු ආදිය පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරන ලදී.

සමාප්ති උළෙලෙන් අනතුරව, සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් රාජකාරිය මුහුදේදී සිදු කරන්නේ කෙසේද යන්න නිරූපණය කිරීම සඳහා පුහුණුවන ලද නිලධාරින් විසින් නිපුණතා සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරි නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, නැගෙනහිර නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍යේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.