ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩමුළුවක් කොළඹදී

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩමුළුවක් අද ‍(ජුනි 28) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුවේ ආරාධිත දේශනය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් සිදු කළ අතර, ‘කිමිදුම් කටයුතු පිළිබඳව හැදින්විම, කිමිදුම් මෙහෙයුම් සහ කිමිදුම් කටයුතු වලදි සිදුවන ආබාධ තත්වයන්’ යන මාතෘකාව යටතේ හරවත් දේශනයක් ඉදිරිපත් කරන ලදී. එහිදී කිමිදුම් කටයුතුවල විවිධ පැතිකඩයන්, කිමිදුම් මෙහෙයුම් සහ කිමිදුම් කටයුතු වලදි සිදුවන ආබාධ වැළැක්වීම සම්බන්ධයෙන් පැමිණ සිටි ආරාධිතයින් දැනුවත් කරන ලදී. තවද, මෙම වැඩමුළුවේදී නාවික හමුදාවේ කිමිදුම් කටයුතු සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය නිලධාරින් ද දේශන පවත්වන ලදී.

මෙම වැඩමුළුවේ දෙවන දේශනය සිදු කරනු ලැබුවේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු වන වෛද්‍ය මලික් ප්‍රනාන්දු මහතා විසින් වන අතර, ඔහු සමුද්‍ර ජීවීන් පිළිබඳ විශාල අත්දැකීම් ඇති කිමිදුම්කරුවෙකි. විෂ සහිත සමුද්‍ර ජිවින් පිළිබඳව එහිදී එතුමන් හරවත් දේශනයක් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ‍සෞඛ්‍ය සේවා, මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ‍සෞඛ්‍ය සේවා, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ ‍සෞඛ්‍ය සේවා, වයිස් මාෂල් ලලිත් ජයවිර, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් නන්දන ජයරත්න, වෛද්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ලලිත් ඒකනායක සහ ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.