වේදනා නාශක ඖෂධ කිහිපයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 15 වන දින පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ කිහිපයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ වර්ගයක් වන ප්‍රීගැබලින් (Pregabalin) පෙති 27 ක් සමඟ පුද්ගලයෙකු ‍අත්අඩංගුවට ගෙන ඇත. මෙම වේදනා නාශක ඖෂධ කිහිපය නීති විරෝධී ලෙස ත්‍රිරෝද රථයක් මඟින් අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 45 ක් වන පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා, වේදනා නාශක ඖෂධ සහ ත්‍රිරෝද රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ පොලිසිය වෙත භාර දිමට කටයුතු කෙරුණි.

එමෙන්ම, 2019 ජුනි 14 වන දින ද ත්‍රිකුණාමලය, ලිංගනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ වර්ගයක් වන ප්‍රීගැසිම් (Pregazim) කරල් 130 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ‍අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.