බලපත්‍ර නොමැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කල පුද්ගලයින් 03 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ දින (අප්‍රේල් 29) පුත්තලම, මදුරගම ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර බලපත්‍ර නොමැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු අතුඅඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි බලපත්‍ර නොමැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි තිබී අඩි හයේ (6’) තේක්ක කඳන් 12 ක්, අඩි තුනේ (3’) තේක්ක කඳන් 05 ක් සහ ප්‍රවාහනය සඳහා භාවිතා කළ ඩිමො බට්ටා වර්ගයේ ලොරි රථයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 41 ත් 44 ත් අතර වියෙහි පසුවන පුත්තලම, සිරම්බියදිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ලොරි රථය සහ තේක්ක කඳන් ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා පුත්තලම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.