නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 පුත්තලම කළපුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව වයඹ නාවික විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 වන දින පුත්තලම කළපුව ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිවීම සහ නීති විරෝධි දැල් භාවිතා කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, මිටර් 600 දිගැති නීති විරෝධී දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 64 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 17, 31, 53 සහ 54 වන වියෙහි පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්, යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, නීති විරෝධී දැල, අල්ලන ලද මසුන් ‍සහ අනෙකුත් ධීවර ආම්පන්න පුත්තලම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.