නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 15) ත්‍රිකුණාමලය, කඩකරච්චේනෙයි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 40, 44, 43, 27, 25, 21, 20 සහ 19 වන වියෙහි පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ මිටර් 305 දිගැති නීති විරෝධී ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුතුර්, ධිවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.