ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ තෙවැනි වාර්ෂික ශාස්ත්‍රිය සැසිය සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ තෙවැනි වාර්ෂික ශාස්ත්‍රිය සැසිය පසුගිය මාර්තු මස 22 වන දින සිට 24 වන දින දක්වා දෙහිවල, අත්තිඩිය, ඊගල්ස් ලේක් සයිඩ් උත්සව සහ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි. තවද, මෙවර සැසියේ තේමාව වූයේ ‘හමුදා වෛද්‍ය සේවයේ ඉදිරි දැක්ම: හමුදා-සිවිල් වෛද්‍ය කටයුතු ඒකාබද්ධ වශයෙන් දියුණු කිරීම’ යන්නයි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති, රාජ්‍ය නිලධාරින්, විදේශ හමුදාවන්හි නිලධාරින් සහ විද්වතුන් මෙන්ම ත්‍රිවිධ හමුදා වෛද්‍ය නිලධාරින් රැසක් ද සහභාගිවී සිටියහ.

මෙම සැසියේ ප්‍රථම දේශණය ජාත්‍යන්තර හමුදා වෛද්‍ය කමිටුවේ මහ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රොජර් වැන් හුෆ් නිලධාරිතුමා විසින් සිදු කළ අතර, දින දෙකක් පුරා ශාස්ත්‍රිය සැසි 09 ක් පැවැත්විය. එහිදි විවිධ මාතෘකා ඔස්සේ දෙස් විදෙස් කථිකයින් සිය දැනුම හුවමාරු කර ගන්නා ලදී.

තවද, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය යනු යුද්ධ, නාවික සහ ගුවන් හමුදා වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන්ගේ එකමුතුවෙන් නිර්මාණය වූ වෘත්තිමය සංගමයක් වන අතර, 2016 වර්ෂයේදී ප්‍රථම වරට ස්ථාපිත කරන ලද මෙම සංගමය මේ වන විට හමුදාවට මෙන්ම රටට විශාල සේවයක් ඉටු කර ‍දියුණුවක් ලබා ඇත. එමෙන්ම හමුදා වෛද්‍ය ක්‍ෂෙත්‍රය තුළ තවදුරටත් සේවය කරමින් අනාගතයේ විශිෂ්ඨත්වයට පත්වීම මෙම සංගමයේ ප්‍රධාන අරමුණ වී ඇත.