‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියට සමගාමීව නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර, එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් 2019 මාර්තු 16 වන දින සිට මාර්තු 23 වන දින දක්වා ‘ත්‍රිපිටකාභිවන්දානා’ සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදා සියළු විධානයන්හි ආඥාපතිවරුන්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සියළු ආයතන සහ නෞකා මෙන්ම යාත්‍රා මූලික කර ගනිමින් බෞද්ධ ආගමික වැඩසටහන් රැසක් උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට සංවිධානය කර ඇත. ඒ අනුව සියළු ආයතන සහ නෞකාවන්හි ශබ්ද පූජා පැවැත්වීම, අලෝක පුජා පැවැත්විම සහ කඳවුරු පරිශ්‍රයන් බෞදධ ධජ වලින් සැරසිමට නාවික හමුදාව සැදැහැ සිතින් යුතුව කටයුතු කර ඇති අතර, එළඹෙන මාර්තු 22 වන දින ‘ත්‍රිපිටකාභිවන්දනා’ ප්‍රතිඥාව කියවිමට ද සියළු කටයතු සුදානම් කර ඇත.

ඒ අනුව, අද (මාර්තු 17) බටහිර නාවික විධානයට අයත් ඒ 521 ‍යාත්‍රාව පරිශ්‍රයේ නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී ධර්ම දේශනයක්, ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ජායනාවක්, ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක්ද පැවැත්විණි.

එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයට අයත් නෞකාවන්හි අණදෙන නිලධාරින් සහ ඒ 521 යාත්‍රාවේ අණභාර නිලධාරි, කොමාණ්ඩර් ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් රැසක් ද සහභාගිවි සිටියහ.