ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනය සිය 27 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ 27 වන සංවත්සරය පසුගිය මාර්තු 09 දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් (මාලිමා) නිමල් රණසිංහ ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව ගාල්ල, ‘සම්බෝධි’ සහ ගෝනපිනුවල, ‘සුපෙම් උයන’ යන ළමා නිවාසයන් පිරිසිදු කර එහි නේවාසිකව සිටින දරුවන් හට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන ලදී. තවද, අද (මාර්තු 12) උදෑසන නාවික සම්ප්‍රදායානුකූලව ආයතනයේ අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරිතුමා විසින් නැව් මුළුව ඇමතීමට ද කටයුතු කරන ලදී. එහිදි අදහස් දැක්වු අණදෙන නිලධාරිතුමන් නාවික ජිවිතය හරවත්ව පවත්වාගෙන යාමට නාවික පුද්ගලයින් හට උපදෙස් ලබාදෙමින් අද දින පැවති අංශ පිරික්ෂුම එතුමන්ගේ පැසසුමට ලක්වු බව ද ප්‍රකාශ කර සිටින ලදි.

අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර ගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්විණි.