ඉන්දීය ධීවරයින්ගේ ග්‍රහනයේ සිටි ජීවී කැස්බෑවෙකු මුදා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි

නාවික හමුදාවට අයත් නෞකාවකට අනුයුක්ත නාවිකයින් විසින් පසුගිය පෙබරවාරි මස 24 වන දින උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංගණය කරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එම ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් පරීක්‍ෂා කිරීමේදී එම ධීවරයින් විසින් අල්ලන ලද ජීවී කැස්බෑවෙකු සොයා ගෙන ඇති අතර, එම ජීවී කැස්බෑවා නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යනු ලබන ක්‍රියාමාර්ග සඳහා සහායක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් දියත් කරගෙන යනු ලබන අතර, ඒ අනුව හඳුනාගනු ලැබූ ආරක්‍ෂිත වෙරළ තීරයන් වලදී සංරක්‍ෂණය කරනු ලැබු කැස්බෑ පැටවුන් 5,700 ක් පමණ නාවික හමුදාව මඟින් සාගරයට මුදා හැරිමට කටයුතු කර ඇත.

මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් සාගර සම්පත සුරැකීම පිණිස ඇපකැපවී මෙහෙයුම් සිදු කරමින් සිය සෘජු දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි.