කැස්බෑ සංරක්‍ෂණයට නාවික හමුදා දායකත්වය

මෑතක සිට වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින කැස්බෑවා අතීතයේ සාගර ආශ්‍රිතව බහුල වශයෙන් දක්නට ලැබුණු සත්ත්ව විශේෂයක් වන අතර, මෙම සත්ව විශේෂය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව සිය දායකත්වය සැපයිමට මේවන විට කටයුතු යොදා ඇත. ඒ සඳහා වර්තමාන නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරගෙන යනු ලබන අතර, මෙහි මුලික අරමුණ වන්නේ වඳවී යන කැසැබෑ සත්ව විශේෂය සංරක්‍ෂණය කොට සාගරයට මුදා හැරිමයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ කැස්බෑවන් බිත්තර දමනු ලබන සෑම වෙරළ ප්‍රදේශයකම නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන අතර, පසුගිය වසර දෙකක පමණ කාලය තුල නාවික හමුදාව මඟින් කැස්බෑ පැටවුන් 5,700 ක් පමණ සංරක්‍ෂණයෙන් පසුව සාගරයට මුදාහැරීමට කටයුතු කර ඇත. මේ සඳහා පුහුණුව ලද නාවික පුද්ගලයින් යොදවා ඇති අතර, එය ඉතා ක්‍රමවත්ව මේවන විට ක්‍රියාත්මක වෙමින් පවති. එමෙන්ම, ගිණිකොන නාවික විධානය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ඊයේ (මාර්තු 09) සහ අද දින සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් 250 ක් සාගරයට මුදාහැරීමට කටයුතු කරන ලදී.

තවද, සාගරික සම්පත් සුරැකීම ඉතාමත් වැදගත් කාර්යභාර්යක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව හදුනාගෙන ඇති අතර, ඉතා කාර්යක්‍ෂම ශ්‍රම බලකායකින් යුතු නාවික හමුදාව දිවයින වටා සමස්ථ වෙරළ තීරය ආවරණය වන පරිදි සාගරික සම්පත් සුරැකීම වෙනුවෙන් මහත් කාර්යභාර්යක් ඉටු කරමින් සිටි.