‘සමුද්‍රිකා’ යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා ඒකකයට එක්වෙයි

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් සිය ජල ශාස්ත්‍රීය සේවාව සිදු කිරීම සඳහා යොදා ගන්නා ලද පර්යේෂණ යාත්‍රාවක් වන ‘සමුද්‍රිකා’ යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ඒකකය වෙත නිල වශයෙන් භාර දීම අද නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි. තවද, එහිදී ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ සභාපති, ඉංජිනේරු ඊඒඑස්කේ එදිරිසිංහ මහතා සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම ද සිදු කෙරුණි.

එමෙන්ම, දැනට ශ්‍රී ලංකාවේ පවතින සාගරික පර්යේෂණ සිදු කළ හැකි එකම යාත්‍රාව මෙය වන අතර, එහි අති නවීන තාක්ෂණයෙන් යුතු මුහුදු මිනුම් උපකරණ ඇතුලත්ව ඇත. ඒ අනුව ‘සමුද්‍රිකා’ යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත හිමිවිමත් සමඟම ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා ඒකකය මඟින් සිදු කරනු ලබන සේවය පෙරටත් වඩා ඵලදායී කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීමට හැකියාව ලැබෙන ඇත.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ප්‍රධාන ජල මානක නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි, නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමා සහ ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ඒකකය අධ්‍යක්‍ෂකවරු ඇතුළු ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට අනුයුක්ත නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.