‘සයුරළ’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට

පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය පෙබරවාරි 02 වන දින කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව සාර්ථක ලෙස සිය නාවික අභ්‍යාසය නිම කිරීමෙන් පසු අද (පෙබරවාරි 28) දිවයිනට ලඟා විය. සයුරළ නෞකාව කොළඹ වරායට සේන්දුවිමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව වරාය පරිශ්‍රය වෙත පිළිගැනීමට කටයුතු කෙරුණි.

බහුපාර්ශවික අමාන් පුහුණු අභ්‍යාසය 2019 පෙබරවාරි මස 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පැවැත්වූ අතර, මෙම නාවික අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වූයේ මුහුදු කලාපයේ පුහුණුව සහ සහයෝගීතාවය තුළින් කලාපීය හවුල්කරුවන් අතර සම්බන්ධතාවය සහ අවබෝධය වැඩි දියුණු කිරීමයි. තවද, එහිදී තොරතුරු හුවමාරුකර ගැනීම, අන්න්‍යෝන්‍ය අවබෝධය සහ සහභාගීත්ව, නාවික කටයුතු සඳහා පොදු අවශ්‍යතාවයන් හඳුනාගැනීම, සාගර ආරක්ෂක මෙහෙයුම්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම්, සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සහ මානුෂීය ආධාර මෙහෙයුම් ආදි වූ අභ්‍යාස රැසක් සිදු කරන ලදී. එමඟින් විදේශිය නාවික හමුදාවන් සමඟ අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබුනු අතර, ඒතුළින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වනු ඇත.

එම නාවික අභ්‍යාසය සඳහා ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ජර්මනිය, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, මැලේසියාව, මාලදිවයින, නයිජීරියාව, පිලිපීනය, කටාර්, රුසියාව ඇතුළුව රටවල් 44 ක නාවික හමුදාවන්වලට අයත් නෞකාවන් සහ ගුවන් යානා විශාල ප්‍රමාණයක් සහභාගී විය.

එමෙන්ම, අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි 17 වන දින අබුඩාබිහි ආරම්භ කරන ලද ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ සහභාගී විය. එහි මුලික අරමුණ වූයේ කලාපයේ රටවල්වල සන්නද්ධ හමුදා අතර ශක්තිමත් සබඳතා පවත්වාගත හැකි වේදිකාවක් නිර්මාණය කිරීම වන අතර, එහිදී ආරක්‍ෂාවට අදාල ගොඩබිම්, සාගර සහ ගුවන් යන අංශයන්ගේ භාවිතාවන නවීනතම තාක්‍ෂණික අංගෝපාංගයන් ද මෙම ප්‍රදර්ශනයට ඇතුලත් විය.


අමාන් නාවික අභ්‍යාසය - 2019


ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019