නාවික පවුල්වල දූදරුවන් හට ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කෙරේ

2018 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට, දිස්ත්‍රික් කඩඉම් සීමාව අභිබවා යමින් විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූදරුවන් වෙත දෙවන අධියර යටතේ ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 27) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේ දී සිදු කෙරුණි. නාවික පුද්ගලයින්ගේ දූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගෙන යාමට කෙරෙන දිරි ගැන්වීමක් වශයෙන්, නාවික හමුදා සුභසාධක අංශය මඟින් මෙකී ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලද අතර නාවික හමුදාධිපතිතුමන්ගේ අදහසකට අනුව ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් සීමාව ඉක්මවූ සියළුම නාවික සහ නාවික සිවිල් පුද්ගලයින්ගේ දූදරුවන් හටද ප්‍රදානය ලබාදෙන ලෙසට කරන ලද දැනුම්දීම පරිදි දෙවන අධියර ක්‍රියාත්මක වන ලදී.

මෙහිදී පැමිණි සිටි පිරිස ඇමතූ නාවික හමුදාධිපතිතුමන් 5 වසර ශිෂ්‍යත්ව විභාගය උසස් අයුරින් සමත් වූ දූදරුවන් වෙත නාවික හමුදාව වෙනුවෙන් සිය ප්‍රශංසාව ප්‍රකාශ කර සිටි අතර, තම දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කර ගනීමින් මෙරට අනාගතය භාර ගැනීම උදෙසා මහත් උනන්දුවෙන් හා කැපවීමෙන් සාමාන්‍ය පෙළ කඩ ඉම ජය ගැනීමට වෙර දැරිය යුතු බවත්, තවත් වසර 5කින් එළ‍‍ඹෙන අ.පො.ස (ස.පෙළ) විභාගයට ද හොදින් මුහුණදී එමඟින් ද මීට වඩා ප්‍රතිඵලදායී ශිෂ්‍යත්වලාභියකු වන්නැයි ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදී.

මෙහිදී 2018 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට, දිස්ත්‍රික් කඩඉම් සීමාව ඉක්මවා ලකුණු ලබාගත් නාවික හමුදා සේවයෙහි යෙදී සිටින නාවික හමුදා පුද්ගලයින්ගේ දූදරුවන් 76 දෙනෙකු සහ දැනට සේවයෙහි නිරත නාවික සිවිල් සේවක පුද්ගලයින්ගේ දූදරුවන් 05 දෙනෙකු ඇතුළුව දූදරුවන් 81 දෙනෙකු සදහා දෙවන අදියර යටතේ රු. 5,000.00 බැගින් වූ මුදල් ත්‍යාගයන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජගත් රණසිංහ, බටහිර නාවික විධාන අඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් අජිත් සමරසිංහ, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක කොමදෝරු සෙනරත් වි‍ජේසූරිය, සිවිල් පාලන අධ්‍යක්‍ෂ ජයන්ත එදිරිසිංහ මහතා ඇතුළු නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද ශිෂ්‍යත්වලාභී දූදරුවන්ගේ දෙමව්පියන්ද සහභාගී වී සිටියහ.