නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

බේරුවල, ධීවර වරායෙන් පසුගිය ජනවාරි 03 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “වත්සලා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (පෙබරවාරි 01) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. ඒ අනුව, ගාල්ල, ප්‍රදීපාගරයේ සිට නාවික සැතපුම් 172 ක් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ඊයේ රාත්‍රියේදි ලබා ගැනීමෙන් අනතුරුව රෝගියා හට මුලික ප්‍රථමාධාර පහසුකම් ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ඒ අනුව, ගාල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා ධීවර යාත්‍රාවේ හිමිකරු වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, ඔහු විසින් රෝගීයා වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු කරන ලදී.

ඒ අනුව, පසුගිය වර්ෂය තුළදී දේශීය මෙන්ම විදේශීය නෞකා සහ යාත්‍රාවන්ගේ අනතුරට පත් ‍පුද්ගලයින් විශාල පිරිසක් මුදවාගෙන කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර ලබා දීම සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කොට ඇත. එමෙන්ම ඉදිරියේදීත් මෙවැනි මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට නාවික හමුදාව සිය නිරන්තර අවධානය යොමු කොට ඇත.