මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06 ක් යළි ඉන්දියාවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 06 ක් යලි එරටට භාර දීම අද (ජනවාරි 31) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

තවද, මෙම ට්‍රෝලර් යාත්‍රා කරෛයිනගර්, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර සහ නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික ‍නෞකා බුවනෙක ආයතනයෙහි කිරන්චි අනුඛණ්ඩයට අයත් ජැටියන්හි නැංගුරම් ලා තිබූ අතර, එම ධීවර යාත්‍රා අළුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. ඒ අනුව, එම ට්‍රෝලර් යාත්‍රාවන්හි අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව එරට බලා පිටත් වන ලද අතර, එම ට්‍රෝලර් යාත්‍රා භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවන් එක් විය. ඒ අනුව, ඔවුන් අද සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අයුෂ්’ සහ ‘රානී දූර්ගාවතී’ නෞකාවන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.