නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වීම, මත්ද්‍රව්‍ය ලඟතබා ගැනීම හා ප්‍රවාහනය කිරීම සහ ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතු වල නිරත වීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වු බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 17 වන දින ගෝනහේන දෙල්ගොඩ ප්‍රදේශයේදී මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබී හෙරෝයින් වර්ගයේ මත් කුඩු ග්‍රෑම් 10 ක්, මත් පෙති 23 ක් සහ සුසුකී වැගන්ආර් වර්ගයේ මොටර් රථයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයා, මත්කුඩු, මත් පෙති සහ මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගහවත්ත, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නාවිකයින් හා නාවික හමුදා සුනඛ සංචිතයට අනුයුක්ත සුනඛයින් සහ කුච්චවේලි පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 18 වන දින එරක්කණ්ඩි වෙරළ ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය. එහිදී විදුලි නොවන ඩෙටනේටර් (Non Electrical Detonator) 27 ක්, වෝටර් ජෙල් කූරු (Water jel stick) 64 ක්, සී-4 (C- 4) වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 220 ක් සේෆ්ට් පියුස් (Safety fuse) 12 ක් සහ කම්ප්ලීට් චාර්ජස් (Complete Chargers) 05 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 18 වන දින කිරංචි වෙරළ ප්‍රදේශයේ දී කිමිදුම් ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 07 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී තහනම් දැලක් සහ කිමිදුම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා නච්චිකුඩා, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය දෙසැම්බර් 21 වන දින තලේයිමන්නාරම, උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ තලේයිමන්නාරම පොලිසිය සමඟ සම්බන්ධ වී කේබල් හවුස් ප්‍රදේශයේ දී නීතිවීරෝධි මත් ද්‍රව්‍ය සඟවා තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.490 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තලේයිමන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.