233 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 376 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය  හා ස්වේච්ඡා නාවික හමුදාවේ 233 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 376 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට පසුගිය නොවැම්බර් 24 වන දින විසිර යන ලදී. පූනෑව, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතා සහභාගී විය.

ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, උතුරු මැද විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අණදෙන නිලධාරි සහ ආඥාපති, කපිතාන් (ජලමාන) අශෝක වි‍ජේසිරිවර්ධන මහතා ඇතුලු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ යුද්ධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන්, වව්නියාව දිස්ත්‍රික් අතිරේක ලේකම්, ටී තිරේස්කුමාර් මහතා ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අනුයුක්ත නිලධාරින් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.

තවද, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානයක්ද සිදු කෙරුණු අතර, එහිදී 233 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා වශයෙන් ආධුනික නැවි එච්ඩබ්එස් මධුසංක නාවිකයා විසින් කුසලාන හිමි කර ගන්නා ලදී. සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා ලෙස ආධුනික නැවි එම්කේ අකලංක නාවිකයා කුසලාන හිමිකර ගත් අතර, ආධුනික නැවි එම්පීකේඩබ් වික්‍රමසිංහ නාවිකයා හොඳම ඉලක්කකරුට හිමි කුසලානයට හිමිකම් කීවේය. මීට අමතරව ආධුනික නැවි ඩීඑම්ජේජී ප්‍රසාද් නාවිකයා හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනාගන්නා ලද අතර, 233 වන බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමිවන කුසලානය ‘පැරකුම්බා’ අංශය හිමි කර ගැනීමට සමත්වන ලදි.

එමෙන්ම, 233 වන බඳවා ගැනීමට අයත් නාවිකයින්ගේ ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සහ නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංස්කෘතික සංදර්ශණයකින්ද මෙම විසිර යාමේ පෙළපාලිය සමන්විත විය.