නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම සහ පුපුරණ ද්‍රව්‍ය ලග තබා ගැනීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, පසුගිය ඔක්තෝබර් 21 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් කෝකිලායි ප්‍රදේශයේදී නීතිවිරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබී තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයා, තහනම් දැල, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව පසුගිය ඔක්තෝබර් 23 වන දින උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් නගර්කෝවිල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සම්පුර්ණයෙන්ම කොටස්වලට ගලවා සඟවා තිබූ යතුරුපැදියක කොටස් සොයාගෙන ඇති අතර, එම යතුරුපැදියේ කොටස්  ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, පසුගිය ඔක්තෝබර් 24 වන දින උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මණ්නාරම පොලීස් නිලධාරීන් සමග සම්බන්ධවී නීතිවිරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ලග තබාගත් පුද්ගලයෙකු සව්ත්බාර් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී ජෙලග්නයිට් කූරූ (Gelignite Sticks) 29ක් සහ සේවා නූල් (Safety Fuse) සහිත විදුලි නොවන ඩෙටනේටර් (Non electrical Detonator) 25ක් සොයාගෙන ඇත. එම පුද්ගලයා සහ සොයාගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දෙන ලදී.  

තවද, පසුගිය ඔක්තෝබර් 24 වන දින නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඩෙල්ෆ්ට් වෙල්ලායි  ප්‍රදේශයේ වෙරළේ තිබී සැක කටයුතු පාර්සල් 10ක් සොයාගෙන ඇත. එහි තිබී කීලෝග්‍රෑම් 51ක බරකින් යුත් බීඩි කොළ  නාවික හමුදාව භාරයටගත් අතර, එම බීඩිකොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.