නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් ඉරණතිව් දූපතේ පිහිටි සෙබමාලෙයි මාතා දේවස්ථානය අලුත්වැඩියා කර ජනතා අයිතියට පත් කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෞද්ධ සංගමයේ අරමුදලින් වෙන් කරන ලද රු. 1,117,543.15 ක පිරිවැය දරමින් නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශයේ නාවිකයින්ගේ ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් අලුත්වැඩියා කර පිළිසකර කරන ලද ඉරණතිව් දූපතේ පිහිටි සෙබමාලෙයි මාතා (Sebamalai matha ) දේවස්ථානය පසුගිය ඔක්තෝබර් 27වන දින ජනතා අයිතියට පත්කරන ලදී.

මෙම උත්සවය යාපනයේ අගරදගුරු, ආචාර්ය ජස්ටින් බී ඥාණප්‍රගාසම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පියතුමන්ලා 6 දෙනෙකු සහ කන්‍යා සොහොයුරියන් 6 දෙනෙකු ද ඇතුළු 400 කට ආසන්න සිවිල් ජනතාවගේ සහභාගීත්වයෙන් විවෘත කර විශේෂ දේවමෙහෙයක් පැවැත් වුහ.

මෙම සෙබමාලෙයි මාතා දේවස්ථානය නැවත පිළිසකර කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතාගේ මගපෙන්වීම යටතේ විධාන සිවිල් ඉංජිනේරු නිලධාරී, ලුතිනන් කොමාණ්ඩර් (සිඉ) එන් අලහප්පෙරුම මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.

ඉරණතිව් දූපතේ වෙසෙන ද්‍රවිඩ ජනතාව සහ නාවික හමුදාව අතර සුහදත්වය හා සංහිඳියාව ඇති කිරීමෙහිලා නාවික හමුදාව විසින් අලුත්වැඩියා කර පිළිසකර කරන ලද සෙබමාලෙයි මාතා දේවස්ථානය ප්‍රදේශවාසීන්ගේ ආගමික කටයුතු සඳහා විවෘත කිරීමේ මෙම මහඟු අවස්ථාව සඳහා සහභාගී වූ පූජකතුමන්ලා සහ 400 ක් පමණ වූ බැතිමතුන් හට දිවා ආහාරය ලබාදීම ශ්‍රී ලංකා නාවික නෞකා ‘බුවනෙක’ ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් එම්එච් ජයදේව මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.
    
නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙම මහඟු පුණ්‍යකර්මය, මෙම අවස්ථාවට සහභාගී වූ බැතිමතුන්ගේ සහ පූජකතුමන්ලාගේ මහත් ඇගයීමට හා පැසසුමට ලක් වූ අතර, මෙය 1992 වර්ෂයෙන් පසුව මෙම දේවස්ථානයේදී පවත්වනු ලැබූ උත්කර්ශවත්ම දේව මෙහෙය බවට ඔවුන් විසින් ඇගයීමට ද  ලක් කෙරිණි.