නාවික හමුදාධිපතිතුමන් ඇමෙරිකාවේදී ජාත්‍යන්තර සමුද්‍ර ආදිපත්‍ය සමුළුවේ (International Seapower Symposium) දේශනයක් පවත්වයි
 

ඇමෙරිකානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර සමුද්‍ර ආදිපත්‍ය සමුළුව (International Seapower Symposium) සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය. මෙම සැසිය පසුගිය සැප්තැම්බර් මස 18 වන දින සිට 21 වන දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්පෝර්ට්, රෝඩ් අයිලනඩ් නගරයේ පිහිටි ඇමෙරිකානු නාවික යුද පුහුණු පාසලේදී පැවැත්විණි, එහිදී, නාවික හමුදාධිපතිතුමන් ඉන්දියන් සාගරයේ ආදිපත්‍ය සම්බන්ධ සමුළුවේ වාර්තාව මෙම සමුළුවට ඉදිරිපත් කරමින් දේශනයක් පවත්වන ලදී.

තවද, මෙවර සමුළුවේ තේමාව ‘ආරක්‍ෂාව, සාමය, සමෘද්ධිය’ (Security, Order, Prosperity) යන්න වූ අතර, සාගරය ප්‍රයෝජනයට ගනු ලබන සමුද්‍රීය රාජ්‍යන්ගේ පොදු ආරක්‍ෂක අභියෝගයන් පිළිබඳව ආරාධිත කථිකයින් සහ විද්වතුන් එහිදී සාකච්ඡා කරන ලදී. ඒ අනුව, දින තුනක් (03) පැවැති මෙම සමුළුවේදී මුහුදු කොල්ලකෑම් වැලැක්විම සහ ආපදා සහන සැලසීම, මුහුදේ සෙවීම් හා මුදා ගැනීම සම්බන්ධීකරණ කටයුතු කිරීම, එකාබද්ධ හමුදා මෙහෙයුම් සැලසුම් කිරීම හා මෙහෙයවීම, ආයුධ ජාවාරම පිටුදැකීම සඳහා ඒකාබද්ධ නීති ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම වැලැක්විම, නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්විම සහ සමුද්‍ර දුෂණය වැලැක්විම ආදි වූ ගැටලු සම්බන්ධව නාවික නිලධාරින්ගේ අදහස් හුවමාරු කරගැනීමට සුදුසු වේදිකාවක් නිර්මාණය කර ගන්නා ලදී.

1969 වසරේ ඇමෙරිකාවේ නිව්පොර්ට්, රෝඩි අයිලන්ඩ් හිදි මුල් වරට ආරම්භවූ මෙම සමුළුව මෙවර පැවැතියේ 23 වන වරට වන අතර, මේ සඳහා සහභාගීවූ රාජ්‍යන්හි නාවික හමුදා නිලධාරින් හට අන්තර්ජාතික සාගරික ආරක්‍ෂාව පිළිබඳව සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කිරීමට මහඟු අවස්ථාවක් හිමිවිය.

‍තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා මෙම සමුළුව සඳහා සහභාගී වී සිටි ඇමෙරිකා එක්සත් ජනපද ශාන්තිකර නාවික බලකායේ ආඥාපති, අද්මිරාල් ජෝන් ඇක්‍යුලිනෝ මහතා, ඇමෙරිකා එක්සත් ජනපද වෙරළ ආරක්ෂක බලකායේ ආඥාපති, අද්මිරාල් කාල් එල් ස්චුඉට්ස් මහතා, ඕස්ට්‍රේලියානු නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් මයිකල් නූනන් මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා මධ්‍යම විධානය භාර ආඥාපති, වයිස් අද්මිරාල් ස්කොට් ඒ ස්ටියරින් මහතා යන නිලධාරින් හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය.