“දියකාවා” යුද අභ්‍යාසය නැරඹීම සඳහා නාවික හමුදාධිපතිතුමන් එක් වෙයි
 

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 9 වන වරටත් සංවිධානය කරන ලද “දියකාවා” ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ත්‍රිවිධ හමුදා සහ විදේශීය හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු මැද පළාත් ආවරණය වන පරිදි පැවැත්විමට කටයුතු යොදා තිබුණී. එහි උද්වේගකර අවසන් අභ්‍යාසය වන සතුරු කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාසය ඊයේ (සැප්තැම්බර් 26) ත්‍රිකුණාමලයේදී පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජයවර්ධන මහතා සහභාග වීය.  
 
තවද, එම අභ්‍යාසය නැරඹිම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා,  ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.  

මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා නාවික පුද්ගලයන් 400 දෙනෙක්, යුද හමුදා සාමාජිකයන් 2500 දෙනෙක් සහ ගුවන් හමුදා පුද්ගලයින් 200 දෙනෙක් සහභාගී වූහ. එමෙන්ම, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, බ්‍රසීලය, චීනය, ප්‍රංශය, ජපානය, ඉන්දියාව, ඉන්දුනිසීයාව, මැලේසියාව, නේපාලය, නයිජිරීයාව, පකිස්තානය, රුසියාව, සිංගප්පුරුව, සුඩානය, තුර්කිය, එක්සත් රාජධානීය, ඇමරිකා එක්සත් ජනපදය සහ සිම්බාබ්වේ යන රටවල් නියෝජනය කරමින් හමුදා පුද්ගලයින් රැසක් ද සහභාගී වීය.

මෙම බහු පාර්ශ්වික ක්ෂේත්‍ර යුද අභ්‍යාසය මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පසුගිය සැප්තැම්බර් මස 07 වන දින ආරම්භ කෙරිණි. මෙම යුද අභ්‍යාසයේ ඒකාබද්ධ නාවික අණදෙන නිලධාරි ලෙස කොමදෝරු නන්දන ජයරත්න මහතා කටයුතු කළ අතර, කපිනාන් (අවි) ඩෙමියන් ‍ප්‍රනාන්දු මහතා භූජලතරණ බලකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරන ලදී. තවද, නාවික විශේෂ බලකායට අණදෙන ලද්දේ කොමාණ්ඩර් (වියාබ) තුෂිත දමින්ද මහතා විසිනි.

මිත්‍ර හමුදාවන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය සහ මෙහෙයුම් හැකියාව තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණින් මෙම අභ්‍යාසය සඳහා නාවික පුද්ගලයන්ගේ දායකත්වය මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රී ලංකා නාවික නෞකා ජගතා සහ වීරයා යන නෞකා, වේග ප්‍රහාරක යාත්‍රා  05 ක්, වෙරළාරක්ෂක මුර යාත්‍රා 02 ක් සහ සෙඩ්රික් යාත්‍රා 10 ක් ද සහභාගී වන ලදී.