නියඟයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට නාවික හමුදාවෙන් පානීය ජලය
 

නාවික හමුදාව සමාජීය සුභසාධන කටයුතු නිරන්තරයෙන් සිදු කරනු ලබන අතර, එහි තවත් එක් පියවරක් වශයෙන් පසුගිය දින වල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය හේතුවෙන්  විපතට පත් ජනතාව සඳහා පානීය ජලය සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලදී. ඒ අනුව, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ නාවික විධානයන්ට අයත් ප්‍රදේශයන්හි  විපතට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා මේ වන විට පානීය ජල ලීටර් 123100 කට අධික ප්‍රමාණයක් බෙදාහැරීමට නාවික හමුදාව කටයුතු යොදා ඇත.

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුරය, මැදවච්චිය යන ප්‍රදේශ, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනකරි ප්‍රදේශය, මන්නාරම දිස්ත්‍රික්කයේ කරදන්කූලිය, මොල්ලිකූලම්, මරිච්චිකඩ්ඩි, පාලන්කූලි යන ප්‍රදේශ, යාපනය දිස්ත්‍රික්කයේ වේලනි, කයිට්ස්, වේලනි දකුණ දිවයින යන ප්‍රදේශ,  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රදේශය, මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව යන ප්‍රදේශය, වව්නියාව දිස්ත්‍රික්කයේ උළුක්කුලම යන ප්‍රදේශය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම ඇතුළු ප්‍රදේශයන්හි පිහිටි පාසල් 30 කට පමණ , පුජනීය සිද්ධස්ථාන 10 කට පමණ, රජයේ සහ පෞද්ගලික ආයතන මෙන්ම රෝහල් වෙත මෙලෙස පානීය ජලය බෙදාහැරිමට කටයුතු කරන ලදී. එමඟින් 6000 කට අධික පාසල් සිසුන් ප්‍රමාණයක් ඇතුළුව  සිවිල් වැසියන් විශාල පිරිසකට සිය පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි විය.