විෂය කරුණු සම්බන්ධව විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ පාඨමාලාව (SMEE) සාර්ථකව නිමාවට පත්වේ
 

විෂය කරුණු සම්බන්ධව විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම (Subject matter expert Exchange) පාඨමාලාව සාර්ථකව අවසන් කළ නාවික පුද්ගලයින් හට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (සැප්තැම්බර් 21) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්විණි. විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ අණදෙන නිලධාරි, කපිතාන් අරුණ වීරසිංහ මහතා සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගිවී සිටියහ.
.
මෙම පාඨමාලාව දින 05 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැති අතර, මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහයට අනුයුක්ත නාවික පුද්ගලයින් 16 දෙනෙකු සහ විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් 22 ක් ඇතුළුව නාවික පුද්ගලයින් 38 දෙනෙකු අනුයුක්ත වූ අතර, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සාමාජිකයින් සිව් දෙනෙකු (04) මෙම පාඨමා‍ලාවේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන ලදී. ඒ අනුව සංග්‍රාමික ප්‍රථමාධාර ලබාදීම, යුද්ධ මෙහෙයුම් සැළසුම් කිරීම සහ යටත් කර ගත් පුද්ගලයින් හසුරුවන ආකාරය යන විෂය කරුණු සම්බන්ධ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම මෙම පුහුණු පාඨමාලාවේ ප්‍රධාන අරමුණ විය.

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට ලබා දෙන ලද මෙම පුහුණුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඇගයීමට ලක් කරන ලද අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.