නාවික හමුදාව වේල් පෙරහැරේ ආශිර්වාදය ලබා ගනී
 

කොළඹ, ශ්‍රී කදිර්වේලායුධ සාමි කෝවිලෙන් ගමන් ආරම්භ කර බම්බලපිටිය, මානික්‍ය විනයාගර් කෝවිල වෙත ගමන් කරනු ලැබූ වේල් පෙරහැර පසුගිය ජුලි 26 වන දින නාවික හමුදා මුලස්ථාන‍ය අසලින් ගමන් කළ අතර, එහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු නාවික පුද්ගලයින් විසින් වේල් පෙරහැරේ පැමිණි වේල කරත්තය පිළිගෙන පුද පූජා පවත්වා ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී, නාවික හමුදාව විසින් පෙරහැරේ පැමිණි බැතිමතුන් සහ සංස්කෘතික කණ්ඩායම් සාමාජිකයින් හට පානීය ජල බෝතල් ලබා දීමට ද කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුළු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් මහේෂ් ද සිල්වා මහතා මෙන්ම නාවික පුද්ගලයින් රැසක් සහභාගිවී සිටියහ.