ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමිව උතුරු නාවික විධානය ඇගයීමට ලක් කෙරේ
 

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිතිකොට ගෙන ලේ දන්දීමෙන් ලෝකයට සහ රටට කළ සේවය අගයමින් සම්මාන පිරිනැමීමේ උත්සවයක් පසුගිය ජුනි 14 වන දින සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ලේ බැංකුවේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. රුධිර පරිත්‍යාගශීලීන් පෞද්ගලිකව මෙන්ම රුධිර පරිත්‍යාගශීලීන් සඳහා කදවුරු සංවිධානය කරන ලද සංවිධායකවරුන්ගේ උතුම් මෙහෙවර අගයමින් ඔවුන්ට උපහාර පිදිම එහිදී සිදු කෙරුණු අතර, මෙවර රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේ තේමාව වනුයේ “ලේ බිඳෙන් ජීවිත සුරකිමු - අන් ජීවිත බේරා ගැනීම සඳහා රුධිර පරිත්‍යාග කරන්න” යන්නයි.

තවද, උතුරු නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා සහ ආයතනවලට අනුයුක්ත නාවික පුද්ගලයන් විශාල වශයෙන් ස්වේච්ඡාවෙන් ලේ දන්දීමේ වැඩසටහන් සඳහා සිය දායකත්වය ලබා දීමට එක් වී සිටින අතර, මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලේ කාර්යය මණ්ඩලය සිය පුර්ණ දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි. එමෙන්ම මේ වන විට යාපනය අර්ධද්වීපයේ රෝගීන් 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත රුධිර පරිත්‍යාගශිලී නාවික පුද්ගලයින් 713 කට වැඩි පිරිසක් සිය රුධිරය පරිත්‍යාග කර ඇති අතර, එම ක්‍රියාව අගය කරනු වස් රුධිර දායකයින්හට උපහාර පිදීමේ උත්සවයේදී උතුරු නාවික විධානය වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදී. ඒ අනුව, උතුරු නාවික විධානය වෙනුවෙන් විධාන වෛද්‍ය නිලධාරි, කොමාණ්ඩර් (වෛද්‍ය) දුමින්ද සමරවික්‍රම මහතා විසින් එම ඇගයීමේ සම්මානය ලබා ගන්නා ලදී.

එමෙන්ම, උතුරු නාවික විධානය මඟින් සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි එක් පියවරක් වශයෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන අතර, යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේදී මෙන්ම නාවික හමුදා කඳවුරු අශ්‍රිතව ද ලේ දන්දීමේ වැඩසටහන් පැවැත්විමට කටයුතු කරනු ලබයි. තවද, සැබැ සහජීවනය වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව විනයවත් හමුදාවක් ලෙස මිනිස් ජීවිත බේරා ගැනීම උදෙසා නාවික හමුදාව ඉදිරියටත් ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබයි.