නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 27 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, පසුගිය ‍මැයි 21 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් නැගෙනහිර මුහුදු තීරයේ අලියා දූපත අවට මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා 01 ක් සහ තහනම් දැල් 01 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දෙන ලදී.

පසුගිය මැයි 23 සහ 24 දෙදින උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බළකායට අනුයුක්ත නාවිකයින් පිරිසක් එක්ව පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා 05 ක්, ඔවුන් සතුව තිබූ කිමිදුම් උපකරණ සහ නීති විරෝධි ලෙස අල්ලන ලද මුහුදු කුඩැල්ලන් ගණනින් 377 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, මුහුදු කුඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර පරීක්‍ෂක පේදුරුතුඩුව වෙත භාර දෙන ලදී.

තවද, උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බළකායට අනුයුක්ත නාවිකයින් පිරිසක් එක්ව පසුගිය මැයි 26 වන දින පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා 01 ක්, ඔවුන් සතුව තිබූ කිමිදුම් උපකරණ සහ නීති විරෝධි ලෙස අල්ලන ලද මුහුදු කුඩැල්ලන් ගණනින් 276 ක් හක්බෙල්ලන් 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, මුහුදු කුඩැල්ලන්, හක් බෙල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර පරීක්‍ෂක පේදුරුතුඩුව වෙත භාර දෙන ලදී.