පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් සඳහා නාවික හමුදාව ව්‍යාපෘතියක් හදුන්වා දෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු කොට ඇත.

මෙම ව්‍යාපෘතිය අධියර තුනකින් සමන්විත වන අතර, පළමු අධියරේදී ඉවතලන පොලිතීන් සහ ප්ලාස්ටික් යොදා ගනිමින් විසිතුරු භාණ්ඩ, මල් පෝච්චි, කම්බි කණු සහ උද්‍යාන ඇතුරුම් ගඩොල් සකස් කිරීම පිළිබඳ අත්හදා බලන ලදී. ඒවා උසස් නිෂ්පාදන මට්ටමකින් සාර්ථක ලෙස නිපදවීමට හැකි බවට සනාථ විය.

දෙවන අධියර යටතේ නාවික හමුදා ප්‍රජා සත්කාරක හා සමාජීය මෙහෙවර තුළින් මෙම තාක්‍ෂණය දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත්, විධිමත් ලෙස කසල බැහැර කිරීමට හා කසල සම්පතක් වශයෙන් ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම මෙන්ම ඊට අදාල ආයතනයන් වෙත අවශ්‍ය තාක්ෂණකික පුහුණුව ලබා දීම බලාපොරොත්තු වේ.

තෙවන අධියර මඟින් නාවික හමුදා පරීක්‍ෂණ හා සංවර්ධන අංශයේ දායකත්වය ඇතිව ප්ලාස්ටික් හා පොලිතීන් නොවන අනෙකුත් ඝන අපද්‍රව්‍ය කළමනාකණය කිරීම සඳහා පරීක්‍ෂණ සිදු කිරීමටත්, ඉන්ජෙක්ෂන් මෝල්ඩින් තාක්‍ෂණය භාවිතා කරමින් ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමටත් අදහස්කොට ඇත.

දිරාපත් නොවන අපද්‍රව්‍යක් වන මෙම පොලිතීන් හා ප්ලාස්ටික් විශාල පාරිසරික හානියක් සිදු කරන අතර, ඒ පිළිබඳව නාවික හමුදාව විසින් විශේෂ අවධානයක් යොමු කරමින් සිදු කරන ලද පරීක්‍ෂණයන්හි ප්‍රථිපලයක් වශයෙන් මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාවට පළමු වරට හදුන්වා දීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව, මෙම ක්‍රමවේදය නොදිරන ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා ලබා දිය හැකි ස්ථිරසාර විසදුමක් ලෙස සඳහන් කළ හැක.

මෙම ව්‍යාපෘතිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් සහ සාගරික හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී රියර් අද්මිරාල් පියල් ද සිල්වා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ අධ්‍යක්‍ෂ නාවික අවේක්‍ෂණ, කොමදෝරු ධම්මික ඩයස් යන මහත්වරුන්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වේ. ‍එමෙන්ම, මෙම ව්‍යාපෘතිය ලුතිනන් කොමාණ්ඩර් අමින්ද කළුපහන මහතා විසින් පවත්වාගෙන යනු ලබයි.