තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට සේන්දු වෙයි
තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය පුහුණු සහ සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 06) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.
නෞකාවන් කොළඹ වරායට පැමිණීමෙන් පසුව, තායිලන්න රාජකීය නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරී පුහුණු ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් සොම්පොන් පූවිආන්ග් මහතා සහ නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් නිවාට් ජිට්පූල්පොල්, කොමාණ්ඩර් නට්ටපොන් සන්කිට්බූන් හා කොමාණ්ඩර් නරුනාට් පන්කම් යන මහත්වරුන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවී සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
ඉන් අනතුරුව එම නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරනු වස් සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදී.
දින 5 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නෞකාවන්ගේ කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික සංදර්ශණ සහ විවිධ ප්‍රසංග ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා සහභාගී වීමට ද නියමිතව ඇත. ඒ අනුව එම නෞකාවන් එළඹෙන අප්‍රේල් මස 09 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතය.
තායිලන්ත රාජකීය නාවික නෞකාවන් කොළඹ වරායට සේන්දු වීම
තායිලන්ත රාජකීය නාවික නිලධාරීන් බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවීම
තායිලන්ත රාජකීය නාවික නිලධාරීන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවීම































