නාවික හමුදා ජල මානක විද්‍යා කාර්යාලය උතුරේ ධීවර වරායන් සංවර්ධනය සඳහා දායක වීමෙන් රජයට රුපියල් මිලියන ගණනක් ඉතිරි කර දෙයි
 

නාවික හමුදා ජල මානක විද්‍යා අංශය මඟින් නිර්මාණය කරන ලද ජල මානක සිතියම් 4 ක් නාවික හමුදා ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා අතින් ධීවර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා වෙත ධීවර අමාත්‍යංශයේදී අද (මාර්තු 28) භාර දෙන ලදී. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව, උතුරේ ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා මෙම ජල මානක විද්‍යා සිතියම් උපයෝගී කර ගැනීමට නියමිත අතර, එමඟින් රජයට රුපියල් මිලියන 10 කට ආසන්න මුදලක් ඉතිරි කර දීමට නාවික හමුදාව සමත් විය.

ගරු ධීවර අමාත්‍යතුමන්ගේ මඟපෙන්වීම යටතේ ධීවර අමාත්‍යංශය විසින් උතුරු පළාතේ පවතින සංවර්ධනය කළ යුතු ධීවර වරායන් 7 ක් පමණ හදුනාගෙන ඇති අතර, ඒ අතුරින් ධීවර වරායන් 4 ක් මෙලෙස මූලික ජල ශාස්ත්‍රීය මැනුම් කටයුතු සඳහා යොදා ගන්නා ලදී. එම ස්ථාන වල ජල ශාස්ත්‍රීය මෙන්ම භූ ලක්‍ෂණ වැනි සාධකයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම සිතියම් ගත කිරීම සිදු කෙරිණි. ඒ අනුව, යාපනය ප්‍රදේශයේ මූනායි, පේදුරුතුඩුව, සක්කොඩ්ඩයි, ඩෙල්ෆ්ට් දූපතේ තලෙයිතුරායි මෙන්ම මන්නාරම පේසාලෙයි යන ප්‍රදේශයන් ආශ්‍රිතව මෙම සිතියම් නිර්මාණය කොට ඇත.

මෙම ප්‍රදේශ සිතියම්ගත කිරීම සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 10 ක පමණ පිරිවැයක් දැරීමට ඇස්තමේන්තු ගත කොට තිබූ අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත නාවික හමුදා ජල මානක විද්‍යා අංශය මඟින් මෙම ව්‍යාපෘතිය නොමිලේ සිදු කර දීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක අංශය මඟින් ඉතාමත් කෙටි කාල සීමාවක් තුළදී, අංග සම්පූර්ණ ලෙස මෙම සිතියම් නිර්මාණය කිරීම පිළිබඳව ධීවර අමාත්‍යතුමන් සිය හෘදයාංගම ස්තුතිය සහ ප්‍රශංසාව නාවික හමුදාව වෙත පිරිනැමීමට ද එහිදී කටයුතු කරන ලදී. තවද, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයට (NARA) අනුබද්ධිත ලෙස 2017 වර්ෂයේ ඔක්තෝබර් මස ස්ථාපනය කරන ලද නාවික හමුදා ජල මානක විද්‍යා අංශය වර්තමානයේ ලබා ඇති ප්‍රගතිය මහත් සේ අගයන බවද එතුමා පැවසීය.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ සභාපති, ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා, ධීවර අමාත්‍යංශයේ ලේකම් ජගත් ජයවීර මහතා, නාවික හමුදා ජල මානක විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.