ආපදා කළමණාකරන හා ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන සාර්ථක ලෙස නිමා වෙයි
 

ආපදා කළමණාකරන හා ප්‍රතිචාර දැක්වීමේ පුහුණු වැඩසටහනක් පසුගිය මාර්තු මස 23 වන දින කල්පිටිය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය. මෙම වැඩසටහන නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු විය.

මෙම වැඩසටහන සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නිලධාරීන් 10 දෙනෙකුගෙන් සහ නාවිකයින් 81 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී විය. එහිදී ඔවුන් හට හදිසි ආපදා තත්වයකදී ප්‍රතිචාර දැක්වීම සඳහා වූ න්‍යායාත්මක දැනුම මෙන්ම ගංවතුර සහ නායයෑම් වැනි ස්වාභාවික ආපදා තත්වයන් හිදී විපතට පත් ජනතාව ඉන් මුදවා ගනිමින් ඔවුන් ආරක්‍ෂිත ස්ථානයන් කරා රැගෙන යාම පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දීමට කටයුතු කරන ලදී. තවද හදිසි තත්වයකදී අවතැන්වන පුද්ගලයින් හට සහන සැලසීම සඳහා සැලසුම් කිරීම, සහන සැලසීම සහ එම කටයුතු කළමණාකරණය කිරීම පිලිබඳව ප්‍රායෝගික දැනුමක් ද ලබා දීමට කටයුතු කෙරුණි. තවද, මෙම වැඩසටහන නිරීක්‍ෂණය කිරීම සඳහා පැමිණි සිටි සියළුදෙනාගේ ප්‍රශාංසාවට ද ලක්විය.

එමෙන්ම මෙම පුහුණු වැඩසටහන පැවැති ග‍ඟේවාඩිය කලපු ප්‍රදේශයට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන් එම ප්‍රදේශය සුවි‍ශේෂි වන අතර, එය ආපදා කළමණාකරන හා ප්‍රතිචාර දැක්වීමේ පුහුණු වැඩසටහන පැවැත්වීමට වඩාත් යෝග්‍ය ප්‍රදේශයකි. ඒ අනුව ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවික පුද්ගලයින් ආපදා කළමණාකරන හා ප්‍රතිචාර දැක්වීමේ පුහුණු වැඩසටහන් සදහා මෙම ප්‍රදේශය නිරන්තරයෙන් උපයෝගි කර ගනි.

තවද, ඉදිරියේදී ආපදා කළමණාකරන මධ්‍යස්ථාන හා සිවිල් සංවිධාන සමඟ සම්බන්ධීකරණය වී මෙවැනි පුහුණු වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන අතර, මෙම අවස්ථාව සඳහා වනාතවිල්ලුව, ප්‍රාදේශිය ලේකම්, සී ජයසිංහ මහතා, ශ්‍රී ලංකාවේ ආසියා පැසිෆික් සංවිධාන ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ඉර්සාන් හෂීම් මහතා, ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (හදිසි මෙහෙයුම්) ජේඒඑම්ආර් ජයරත්න මහතා, පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ නිලධාරි, ලුතිනන් කර්නල් පීඒජේ රොද්‍රිගු මහතා, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ නියෝජිත සහ කපිතාන් ජෙෆ් බෙන්ටන් මහතා ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.