‘Commander’s Cup 2018’ ගොල්ෆ් ශූරතාවලියෙන් නාවික හමුදාවට සුවිශේෂී ජයක්
 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Commander’s Cup 2018’ ගොල්ෆ් තරඟාවලියේ සුවිශේෂී ජයග්‍රහණයක් නාවික හමුදාවට හිමි විය. එම තරඟාවලියේ ආරක්ෂක සේවා අංශයෙන් තරඟ කළ ලුතිනන් කොමාණ්ඩර් (නාසෙ) හර්ෂ උඩවත්ත මහතා ප්‍රථම වරට එහි ශූරතාවය දිනා ගනිමින් නාවික හමුදාවට කීර්තියක් අත් කර දීමට සමත් වන ලදී.

මෙම තරඟාවලිය පසුගිය ජනවාරි මස 27 වන දින ත්‍රිකුණාමලය චීන වරාය පරිශ්‍රයේදී පවත්වන ලද අතර, ඒ සඳහා තරඟකරුවන් 60 දෙනෙකු සහභාගී වී සිටියහ. ඔවුන් අතරින් ලකුණු 35 ක් ලබා ගනිමින් ලුතිනන් කොමාණ්ඩර් උඩවත්ත මහතා සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නා ලදී.

තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය ත්‍රිකුණාමලය මාබල් බීච් නිවාඩු නිකේතන පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා සහභාගී විය.