නාවික හමුදාව විසින් මුහුදේ අතරමං වූ ධීවරයින් 3 දෙනෙකු බේරා ගනියි
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් මඟින් ඊ‍යේ (ජනවාරි 27) ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝශයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් 3 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.

දිලීකා නමැති මෙම ධීවර යාත්‍රාව පසුගිය ජනවාරි මස 24 වන දින ගුරුනගර් ජැටියෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ‍ගොස් ඇති අතර, නයනතිව් මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂශයක් හේතුවෙන් ඔවුන් මෙසේ අනතුරට ලක් වී ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක මුර යාත්‍රා 2 ක් එම ධීවරයින් සහ යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට කටයුතු කෙරිණි. ඒ අනුව, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදු සීමාව ආසන්නයේ පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II මඟින් ඔවුන් සොයා ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව නාවික යාත්‍රා මඟින් එම ධීවරයින් සහිත යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස ඩෙල්ෆ්ට් දූපත වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. නිරුපද්‍රිත ලෙස රැගෙන එනු ලැබූ ධීවරයින් තිදෙනා ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.