නාවික හමුදාව වක්වැල්ල පාලම යට සිරවී තිබූ විශාල දැව කොටස් ඉවත් කරයි
 

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (දෙසැම්බර් 29) ගාල්ල වක්වැල්ල පාලමේ ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී.

පසුගිය දිනයන්හි බලපා තිබූ වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල, වක්වැල්ල, පිටබැද්දේගම සහ රත්ගම දක්වා වූ අතුරු මාර්ගයේ ගිං ගඟ හරහා යොදා ඇති මෙම වක්වැල්ල පාලමේ යට ප්‍රදේශය ශාක කඳන් මෙන්ම අපද්‍රව්‍ය විශාල වශයෙන් සිරවී ජලය බැසයාමට නොහැකි සේ අවහිර වී පැවතිණි. එම හේතුවෙන් පාලම අවට ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමක් පැවතිණි.

මේ පිළිබඳව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ දැනුම් දීම මත, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා සහ දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරුන්ගේ උපදෙස් මත දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ, විශේෂ යාත්‍රා බලඝණයේ සහ ක්ෂණික විහිදුම් යාත්‍රා බලඝණයේ නාවිකයන් කණ්ඩායම් කඩිනමින් එම ස්ථානය වෙත පිටත් කර යවන ලදී. එහිදී, ඔවුන් මහත් පරිශ්‍රමයක් දරමින් අවහිර වී තිබූ ශාක කොටස්, දැව කඳන් මෙන්ම සිරවී තිබූ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර ගංඟාවේ ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කළහ. එමඟින්, ප්‍රදේශයට බලපා තිබූ ගංවතුර අවධානම මුළුමනින්ම ඉවත් කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව පොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් ලෙස මෙය හදුන්වා දිය හැකි අතර, මෙවැනි අවධානම් අවස්ථාවන් හිදී කඩිනම් සහන සැළසීමට නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි. නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක 011 2445368 හෝ 011 4324049 ඇමතීම මඟින් මෙවැනි ආපදා අවස්ථාවන් සඳහා නාවික හමුදා සහාය ලබා ගැනීමට පොදු ජනතාවට හැකියාව පවතී.