රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලැබුනු තොරතුකට අනුව CMA CGIM Orfeo නම් බහාලුම් නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (නොවැම්බර් 28) උදෑසන කටයුතු කරන ලදී.

සෞදි අරාබියේ ජෙඩා වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ එම නෞකාවේ පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයෙකු සිටින බැව් නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත. එම තොරතුරු ලද විගස දකුණු නාවික විධානයට අනුයුක්ත පී 432 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන ඒම සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

ඒ අනුව ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 12 ක පමණ දුරකදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන එන ලදී. ඉන් අනතුරුව ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි. පිලිස්සුම් තුවාල ලද පුද්ගලයා පිලිපීන ජාතිකයෙකු වේ.