සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය හෙට ත්‍රිකුණාමලයේදී
 

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – 2017) හෙට (ඔක්තෝබර් 02) ත්‍රිකුණාමලයේදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පවත්වනු ලබන මෙම නාවික අභ්‍යාසය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද ශාන්තිකර දියත් විධානය එක්ව සිදු කරනු ලබන අතර, එය මෙම මස 06 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

මෙහිදී ප්‍රමුඛ වශයෙන් නාවික හමුදාවන් මගින් සමුද්‍රීය ආරක්ෂක ක්‍රියාකාරකම්, හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරී හැකියාවන් වර්ධනය කිරීම සහ දකුණු හා අග්නදිග ආසියාතික රටවල් වල නාවික හමුදාවන් අතර අන්‍යේන්‍ය සහයෝගීතාවය වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කරනු ලබයි. එහි ප්‍රධාන අරමුණ වනුයේ නාවික හමුදාවන් අතර විශ්වාසය සහ ශක්තිමත් සබඳතාවයන් ගොඩනගා ගැනීමයි. කලාපීය රටවල් සමඟ සමීපව සහ සහයෝගයෙන් කටයුතු කරමින් සමුද්‍රීය ආරක්ෂාව වැඩිදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම ද මෙම අභ්‍යාසය මගින් සිදු කරනු ලබයි.

1995 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම අභ්‍යාසය අඛණ්ඩව මේ දක්වා සිදු කරනු ලබන අතර, එය මේ වන විට වෙරළබඩ, මුහුදු සහ ගුවන් පුහුණු අභ්‍යාසයන් සිදු කිරීම දක්වා වර්ධනය වී ඇත.