නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය - 2017 (Sailing National Championship - 2017) පසුගිය සැප්තැම්බර් 23 සහ 24 වන දෙදින තුළ බොල්ගොඩ ජලාශයේ දී සාර්ථකව පවත්වන ලදි. එම තරඟාවලියේ දක්ෂතා පිළිබිඹු කරමින් ජයග්‍රහන රැසක් අත් කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට හැකි විය.

මෙම තරඟාවලියේදී ජිපි 14 (GP 14), එන්ටර්ප්‍රයිස් (Enterprise), ලේසර් ස්ටෑන්ඩර්ඩ් (Laser Standard) යන අංශයන්හි ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථානයන්හි ජයග්‍රහන හිමි කර ගැනීමට එම කණ්ඩායම සමත් විය. තවද, ලේසර් රේඩියල් (Laser Radial) අංශයෙන් ප්‍රථම, දෙවන සහ සිව්වන ස්ථානය, සුළං යාත්‍රා (Windsurfing) අංශයේ දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ ක්‍රීඩකයින් සමත් වූ අතර, කාන්තා අංශය (Women Category) නියෝජනය කරමින් සහභාගි වූ කාන්තා නාවිකයින් එහිදී තම කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් ප්‍රථම සහ දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වූහ.

මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා ක්‍රීඩකයින් ඇතුළුව දිවයිනේ ප්‍රමුඛ පෙළේ රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජයන් නියෝජනය කරමින් රුවල් 71 ක් සමඟ තරඟකරුවන් 85 දෙනෙකු සහභාගි වී සිටියහ.