නාවික සැලසුම්කරණ අධ්‍යක්ෂ කාර්යාංශයේ නව කාර්යාලය සංකීර්ණය සඳහා මුල්ගල තැබේ.
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ස්ථාපිත කරන ලද නාවික සැලසුම්කරණ අධ්‍යක්ෂ කාර්යාංශයේ කාර්යාලය සංකිර්ණය ඉදිකිරීම සඳහා ‍මුල්ගල තැබිම ඊයේ (2017 අගෝස්තු 16) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, කොමදෝරු රවින්ද්‍ර රණසිංහ මහතා අතින් සිදුවිය.

නවීනතම නෞකා/ යාත්‍රා සතු කර ගැනීමට අවශ්‍ය වූ විට ඉතා පරිපූර්ණ යාත්‍රා නිර්මාණ කිරීමේ අංශයක් සතුව තිබීම පළමු කොට අත්‍යවශය කරුණකි. එය හුදෙක්ම සැලසුම් නිර්මාණ සඳහා පමණක් නොව, නැව් ඉදිකිරීම් සමාගම සහ නාවික හමුදාව අතර මැදිහත්කරු ලෙස මෙන්ම උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන ආයතනයක් වීමද අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම නැව් බඳ නිර්මාණ, නව උපාංග පද්ධති සහ අනෙකුත් ආධරක උපකරණ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමිතීන්ට අනුව නිම කිරිම වැනි සංකීර්ණ කරුණු නිරාකරණයේදී මෙම කාර්යාංශයේ මැදිහත් වීම ප්‍රබල වශයෙන් සිදුවනු ඇත. නෞකා/යාත්‍රා මුළුව නවීකරණය කිරීමේ පියවර යටතේ ඉදිකෙරෙන නාවික සැලසුම්කරණ අධ්‍යක්ෂ කාර්යාංශයේ කාර්යාලය සංකීර්ණයෙන් නාවික හමුදාවේ යාත්‍රා නිර්මාණවේදීන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරිමටද අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂ නැව් බඳ අළුත්වැඩියා, කොමදෝරු ජගත් සිරිවර්ධන මහතා, කොමදෝරු සැපයුම් හා සේවා (බ), කොමදෝරු නිහාල් බණ්ඩාර මහතා සහ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.