උතුරු මුහුදේ මත්ස්‍ය අභිජනන ප්‍රදේශයන්ට හානි කළ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්ඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වෙරළබඩ යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් සහ වෙරළාරක්ෂක බළකායට අනුයුක්ත භට පිරිසක් එක්ව සිදු කළ මෙහෙයුමකදී පේදුරුතුඩුව, ඊශාන දිග මුහුදු ප්‍රදේශයේ මත්ස්‍ය අභිජනන ස්ථානවලට හානි කරමින් නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීමේ යෙදි සිටි පුද්ගලයින් 09 දෙනෙකු ඩිංගි යාත්‍රා 04 ක් සමඟ අද (2017 අගෝස්තු 15) අත්ඩංගුවට ගන්නා ලදී.

සම්ප්‍රදායික මසුන් මරණ බව හඟවමින් දැල්, වැලි ගෝනි සහ කොළ අතු භාවිතා කරමින් මුහුදේ විශාල ප්‍රදේශයක් අහුරමින් මසුන් සියල්ල කොටු කර අල්ලා ගන්නා අයුරු නිරික්ෂණය කිරීමෙන් පසුව වහ ක්‍රියාත්මක වු නාවික හමුදාව සහ වෙරළාරක්ෂක භට පිරිස් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

මෙම විනාශකාරි ක්‍රියාව නිසා මත්ස්‍ය අභිජනන ස්ථානයන්ට සහ මත්ස්‍ය ග්‍රහණයන් හට මහත් සේ හානි සිදු වි ඇත. ජලජ ශාඛයන්ට කිසිදු තැකිමක් නොකොට ඉක්මණින් මුදල් උපයා ගැනිමේ චේතනාවෙන් සිදු කෙරෙමින් තිබුණු එම විනාශකාරි ක්‍රියාව කඩිනමින් වලක්වා ගැනීමට නාවික හමුදාව සහ වෙරළරක්ෂක බළකා භට පිරිස් කටයුතු කරන ලදී. මෙම විනාශකාරී ක්‍රියාව වලක්වා ගැනීමට කටයුතු නොකර සිටියේ නම් එම ප්‍රදේශයේ ධිවරයන්ගේ වෘත්තියට දැඩි බලපැමක් ඇති විමට සහ ධිවර කාර්මාන්තය මේවන විට ලබමින් සිටින සිග්‍ර වර්ධනයට දරුණු පහරක් එල්ලවිමට හැකිව තිබුණි.

ධිවර පනත යටතේ අනුමත ධිවර පන්න ක්‍රමයන්ට පටහැනිව නීති විරෝධිව මසුන් ඇල්ලීමේ යෙදී සිටි නිසා මෙලෙස අත්ඩංගුවට ගන්නා ලද අතර, අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රා නීතිමය කටයුතු සදහා යාපනය සහකාර ධිවර අධ්‍යක්ෂ වෙත භාර දීමට නියමිතය.