යුද්ධ හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද ( අගෝස්තු, 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් යුද්ධ හමුදාධිපතිතුමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගත් අතර, යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු නාවික හමුදාධිපතිතුමා මුණ ගැසුණු පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් යුද්ධ හමුදාධිපතිතුමා වෙත සිය හෘදයාංගම සුභපැතුම් එක් කරන ලද අතර, ඉන් අනතුරුව ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත විය. මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
 

