ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවා නව කාර්යාලය විවෘත කෙරේ
 

නාරා ආයතනය තුළ අභිනවයෙන් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවා කාර්යාලය අද (අගෝස්තු 10) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන් අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ගරු ලේකම්, ඩබ්එම්එම්ආර් අධිකාරී මහත්මිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායාතනයේ සභාපති, අනිල් ප්‍රේමරත්න මහතා සහ එහි අධ්‍යක්ෂ ජෙනරාල් බීසීඩබ් ඉද්දමල්ගොඩ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වී සිටියහ.

මෙය, 2016 ජුනි මස 21 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමග ඒකාබද්ධ වීම ශ්‍රී ලාංකීය නාවික ක්‍ෂෙත්‍රයේ නව පරිච්ඡේදයක් ලෙස ද සනිටුහන් වනු ඇත. මෙමගින්, ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රීය සේවාව නාරා ආයතනය හා ඒකාබද්ධව දැනට සිදු කරමින් පවතින, නව තාක්‍ෂණික ක්‍රමෝපායන් මගින් අප රටේ මුහුදු සිතියම් යාවත්කාලීන කිරීමේ කර්තව්‍ය වඩාත් කාර්යක්‍ෂමව හා වේගවත්ව සිදු කළ හැකි වනු ඇත.

එම උත්සව අවස්ථාව ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා කාර්යාලය මගින් සිදු කරනු ලබන සේවය සහ ඒ පිළිබඳ හැදින්වීමක් සිදු කරන ලදී. එමගින් පෙරටත් වඩා ඵලදායී කාර්යක්ෂම සේවාවක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. තවද, එම අවස්ථාව සඳහා සහභාගී වූ ගරු අමාත්‍යතුමන් ඇතුළු සම්භාවනීය පිරිස වෙත සිය ස්තූතිය පුද කිරීමට ද එතුමා කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන්, ත්‍රස්තවාදය පැවති කාලයේ සිට මේ දක්වා නාවික හමුදාව විසින් සිය මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කරමින් සිටින මෙහෙය ඉතාමත් අගයකොට සළකන බැව් සඳහන් කළේය. එමෙන්ම, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) හා එක්ව නාවික හමුදා ජල මානක විද්‍යා අංශ විසින් සිදු කරනු ලබන මහඟු කාර්යයභාර්ය ගරු අමාත්‍යතුමන්ගේ ඇගයීමට ද ලක් විය.

වර්ථමානයේ ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවට අනුයුක්තව, ජාත්‍යන්තර ජල ශාස්ත්‍රීය කාර්යාලය මගින් පිළිගත් ‘ඒ’ ශේණියේ ජල ශාස්ත්‍රික මිණින්දෝරුවන් 20 දෙනෙක් සහ ‘බී’ ශ්‍රේණියේ ජල ශාස්ත්‍රික මිණින්දෝරුවන් 15 දෙනෙක්, අර්ධ කාලීනව නාවික ජල ශාස්ත්‍රීක සේවයට අනුයුක්තව රාජකාරියේ නියුතුව ඇත.

එමෙන්ම, පුර්ණ කාලීනව මිණුම් සහායක නාවිකයින් 85 දෙනෙක් ද රාජකාරී කරනු ලබයි. නාරා ආයතනය හා ඒකාබද්ධ වීමට පෙර සිටම ශ්‍රීලංකා නාවික හමුදාව ජාතික ජල ශාස්ත්‍රීය අවශ්‍යතාවයන් සඳහා සිය දායකත්වය ලබා දී ඇති අතර, විශේෂයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීම් මත ඇල මාර්ගයන්, වැව්, අමුණු සහ ගංඟාවන් වල මිණුම් කටයුතු සිදුකර ඇත.

ශ්‍රී ලංකා‍ව භූගෝලීය වශයෙන් කාර්යය බහුල නෞකා ගමනා ගමන සන්දිස්ථානයක පිහිටා තිබීම හේතුවෙන් වසරකට වෙළඳ නෞකාවන් 36,000 ක් පමණ අපගේ දක්‍ෂිණ මුහුදු තීරය පසුකරමින් ගමන් කරනු ලබයි. මුහුදේදී ජීවිත ආරක්ෂාව පිළිබඳ (SOLAS) ප්‍රඥප්තිය අනුගමනය කරනු ලබන රටක් වශයෙන්, ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු තීරයේ යාත්‍රා කරනු ලබන නෞකාවන්ගේ ජල තරණ ආරක්‍ෂාව තහවුරු කිරීමට අප බැදී සිටින්නෙමු. එසේම එම නෞකාවන් ජල තරණය සඳහා යොදා ගන්නා සිතියම් සකස් කිරීම හා ඒවා නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමද අප සතු වගකීමකි. එහෙත්, මේ වන විටත් අප විසින් භාවිතා කරනු ලබන්නේ 18 වන සියවස අග භාගයේත් 19 වන සියවස මුල් භාගයේත් බ්‍රිතාන්‍යන් විසින් මිණුම්ගත කරන ලද දත්තයන්ගෙන් හෙබි මුහුදු සිතියම් වේ.

අප සතු නාවික සිතියම් අප විසින් ම නිර්මාණය කර ගැනීමෙන් සහ ඒවා යාවත්කාලීන කිරීමෙන් වි‍ශාල විදේශ විනිමයක් ඉතිරි කර ගත හැකි වන්නා සේම, එම දත්තයන් අලෙවි කිරීම මඟින් සැළකිය යුතු විදේශ විනිමයක් උපයා ගැනීමට ද හැකි වනු ඇත. එබැවින් නාරා ආයතනය තුළ අද දින ස්ථාපිත කළ නව කාර්යාල පරිශ්‍රය මගින් ඒ සඳහා නිසි අවකාශක් සැලසෙනු ඇත.

තවද, අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය සහ මියන්මාරය වැනි දියුණු වෙමින් පවතින රටවල් මෙන්ම ලෝකයේ බොහෝ දියුණු රටවල් තම ආර්ථික සංවර්ධන සඳහා ජල ශාස්ත්‍රීය සේවාව ඉතාම සක්‍රීයව භාවිතයට ගනු ලබයි. එහෙයින්, තවමත් ශ්‍රී ලංකාවට ආගන්තුක මෙම ‍‍ක්‍ෂේත්‍රය සක්‍රීයව ක්‍රියාවට නංවා අප රටේ ආර්ථිකය සංවර්ධනයට ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව දායක කර ගැනීම මෙහි ප්‍රධානතම අරමුණ ලෙස දැක්විය හැකිය.

නාවික හමුදාවේ ජළමු ජල මානක නිලධාරී, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ජේ ජයසූරිය මහතා, නාවික හමුදා ප්‍රධාන ජල මානක නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් උපුල් ඒකනායක මහතා, නාවික හමුදාධිපතිතුමාගේ පුද්ගලික ලේකම් සහ නාවික ලේකම්, රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.