තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක්,‍ ගල්නෑව කඳුඵගමුව විද්‍යාලය, නෑගම මුස්ලිම් විද්‍යාලය සහ මුලතිව් තුනුක්කායි ගම්මානය යන ස්ථානයන් හිදී ඊයේ (අගෝස්තු 2) ජනතා අයිතියට පත් කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව මගින් සමාජ සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. ඉන් වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම සුවිශේෂී කර්තව්‍යයක් ලෙස හදුන්වා දිය හැක.

ගල්නෑව, කඳුඵගමුව විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ දරුවන් 431 දෙනෙකුට සහ ඒ අවට ප්‍රදේශවාසී පවුල් 378 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව උදා වනු ඇත. ගල්නෑව නෑගම මුස්ලිම් විද්‍යාලයේදී විවෘත කෙරුණු ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ දරුවන් 700 කට සහ අවට ගම්මානයේ පවුල් 456 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකි වන අතර, මුලතිව් තුනුක්කායි ගම්මානයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 325 කට පිරිසිදු පානිය ජලය ලබා ගැනිමට හැකියාව ලැබෙනු ඇත. කඳුඵගමුව විද්‍යාලයේ සහ නෑගම මුස්ලිම් විද්‍යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍ර සදහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත. මුලතිව් තුනුක්කායි ප්‍රදේශයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය සඳහා පාකිස්තානු ජනරජය සහ සිරස ගම්මැද්ද වැඩසටහන මගින් මුල්‍යමය දායකත්වයන්  ලබා දි ඇත.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලද මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 242 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇත. එමගින් පවුල් 115,925  කට හා පාසැල් දරු දැරියන් 81,316 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමටත්, මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමටත්  නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

මෙම අවස්ථාවන් සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් රහුමාන් ඉසාන් මහතා, ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ වැඩ බලන කොමසාරිස් සප්රාස් අහමඩි කාන් සිප්රා මහතා, අනුරාධපුර දිස්ත්‍රික් වකුගඩු රොග නිවාරණ සමිබන්ධීකරන නිලධාරී තිස්ස කරලියද්ද මහතා සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ප්‍රදේශවාසින් රැසක් මෙන්ම පාසල් දරු දැරියන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.