මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග ශල්‍ය ඒකකය වෙත නාවික හමුදාව විසින් අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරනු ලබයි. එහි තවත් එක් පියවරක් වශයෙන්, වකුගඩු රෝග ප්‍රතිකාර වලදී රුධිර කාන්දුකරණ (Dialysis) ක්‍රියාවලිය සඳහා උපයෝගී කරගන්නා අති පවිත්‍ර ජලය (Ultra Purified Water) නිපදවිය හැකි දෙවන යන්ත්‍රය ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් ඊයේ (30) මහනුවර ශික්ෂණ රෝහලේ  වකුගඩු ‍රෝග ශල්‍ය ඒකකය වෙත ප්‍රදානය කරන ලදී. එමගින් දිනකදී ටොන් 10 ක අති පවිත්‍ර ජලය නිපදවීමට හැකියාවක් ඇත.

නාවික හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රය නිපදවා ඇත. විදේශීය වෙලදපො‍ළින් මිලදී ගැනීමේදි මෙහි වටිනාකම රුපියල් මිලියන 13 ක් පමණ වන අතර, මෙම අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රය රුපියල් මිලියන 1.7 ක් වැනි අඩු වියදමකින් නිපදවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය සමත්වී ඇත.

මහනුවර ශික්ෂණ රෝහලේ සියළුම වකුගඩු රෝග විශේෂඥවරුන්ගේ නොමද පැසසුමට සහ අනුමැතියට පත් මෙම ජල පිරිපහදු යන්ත්‍රය මගින් නිපදවන අති පවිත්‍ර ජලය ජාත්‍යන්තර ප්‍රමිති තත්වයට AAMI (Association of Advance Medical Instrumentation) අනුකූලව නිපදවා ඇත. ස්වාධීන ජාත්‍යන්තර රසායනාගාර මඟින් තහවුරු කොට ඇති උසස් තත්වයේ මල නොබැදෙන උපකරණ සහ අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති මෙම යන්ත්‍රය නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් මාසයක් වැනි කෙටි කාලයක් තුළදී නිපදවීමට සමත්වන ලදී.

මෙම යන්ත්‍රය නිපදවීම වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන සවිබල ගැන්වීමේ නාවික හමුදා ප්‍රයත්නයන්හි මහඟු කර්තව්‍යයක් ලෙස හැදින්විය හැක. ඉදිරියේදී නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් මෙවැනි යන්ත්‍ර දිවයින පුරා රුධිර කාන්දුකරණ (Dialysis) යන්ත්‍ර ඇති සියලුම රෝහල්හි ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ. තවද, මේ දක්වා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 223 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය මහජනතාවට ලබාදීමට නාවික හමුදාව කටයුතු කර ඇත. වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පුර්ණයෙන් තුරන් කර "සැමට සුවසෙත" සැලසෙන නිරෝගී ජන සමාජයක් බිහිකිරීමේ අරමුණින් නාවික හමුදාධිපතිතුමන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් කරගෙන යනු ලබන මෙම මහඟු සමාජ සත්කාරය දෙස් විදෙස් සියලු දෙනාගේ නොමද ප්‍රශංසාවට ලක්වි ඇත.