උතුරු නාවික විධානය විසින් යාපනය, මාවඩිපුරම් හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (19) යාපනය අර්ද්වීපයේ, මාවඩිපුරම් ආදර්ශ ගම්මානයේ නැවත පදිංචි කරන ලද පුද්ගලයන් වෙනුවෙන් ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත් වන ලදී. එය උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මගපෙන්වීම මත ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.

මාවඩිපුරම් ගම්මානයේ නැවත පදිංචි කළ පවුල් 135 කට අයත් පුද්ගලයන් විශාල පිරිසකට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය. එහිදී, ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවනු වස් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන සමාජ සත්කාරක සේවය එහිදී ඔවුන්ගේ මහත් ඇගයීමට ලක් විය.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික වෛද්‍ය අංශයට අයත් නිලධාරීන් සහ නාවිකයන් විසින් පවත්වන ලද මෙම වැඩසටහන් මගින් බරපතල රෝගාබාධ, නිදන්ගත රෝග, නව යොවුන් වියේ සහ වැඩිහිටි වයසේ පසුවන පුද්ගලයින්ගේ සෞඛ්‍ය ගැටළු, ළමා සහ ගර්භනී මාතාවන්ගේ සෞඛ්‍ය ගැටළු මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටළු සඳහා අවශ්‍ය මූලික ප්‍රථිකාර සැපයීමට කටයුතු කරන ලදී. එම පරීක්ෂාවන් වලදී විශේෂඥ වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට අවශ්‍ය රෝගීන් යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට ද එහිදී කටයුතු කෙරිණි.

තවද, මූලික රසායනාගාර පරීක්ෂණ මගින් නිදන්ගත මෙන්ම බෝ නොවන රෝගී තත්ත්වයන් එහි මුලික අවස්ථාවේදීම හඳුනාගෙන ඒවා සඳහා ප්‍රථිකාර ලබා දී ඔවුන් සුරක්ෂිත කිරීමට එහිදී හැකි වූ අතර, වෛද්‍ය සායනය සඳහා අවශ්‍ය ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් නොමිලේ ලබා දෙන ලදී.