ප්‍රථම නාවික හමුදා මැරීන් බලඝණයේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 164 දෙනෙකු විසිර යති
 

වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු මැරීන් බලඝණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 6 දෙනෙකු සහ නාවිකයන් 158 දෙනෙකු සිය පුහුණුව නිමකොට අද (27) විසිර යන ලදී.

මුල්ලිකුලම් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ පැවති එම විසිරයාමේ සහ නිල ලාංඡන පැළදවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, නාවික හමුදාධිපතිතුමාගේ ආරාධනයෙන්, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී විය. ගරුතර මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ප්‍රභූ පුද්ගලයන්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, විදේශීය ආරක්ෂක හමුදා ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විසිර යන ලද නාවික පුද්ගලයින්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සහ නාවිකයින් විශාල පිරිසක් ද එම අවස්ථාව සදහා සහභාගී වී සිටියහ.

ඉතා ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සහ මැරීන් බලඝණයේ නාවික පුද්ගලයින්ගේ දක්ෂතා විදහා දැක්වෙන ඉදිරිපත් කිරීමකින් සමන්විත වූ මෙම විසිරයාමේ පෙළපාලියේදී අදහස් දැක්වූ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙන රටක් වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලන කළ, කීර්තිමත් හමුදාමය ක්‍රියාකාරකම් පිළිබඳව අප කොතෙකුත් අසා තිබෙන බවත්, එසේම පසුගිය කාලයේ මෙරට පැවති නොසන්සුන් වාතාවරණය හමුවේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙන්ම සිවිල් ආරක්ෂක බලකායට අයත් සියළුම රණවිරුවන් සිය ජීවිත පරිත්‍යාගයෙන් තම රාජකාරිය ඉෂ්ඨ කළ බව අප සැවොම දන්නා කාරණයක් බවත්ය.

තවද, දූපත් රාජ්‍යයක් වශයෙන් අප රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාව එදා මෙදා තුර අනගි සේවාවක් සිදු කළ බව එතුමා එහිදී විශේෂයෙන් සඳහන් කරන ලදී. එමෙන්ම නාවික හමුදාව, තමන් වෙත පැවරෙන ඕනෑම භාර දූර කර්තව්‍යයක් නොපිරිහෙලා ඉටු කිරීමට හැකි හමුදාවක් බව ද ප්‍රකාශ කරන ලද අතර, ඒ වෙනුවෙන් රජයේ සුභාෂිංසන පිරිනැමීමට එතුමා මෙය අවස්ථාවක් කර ගන්නා බවත් පැවසීය. මෙම මැරීන් බලකාය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු රජය අප වෙත අනගි සහයක් ලබා දී ඇති බවත්, ඔවුන්ගේ තාක්ෂණය හා පුහුණු උපදේශ ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදී. මෙම මහඟු කර්තව්‍යයට උර දුන් නාවික හමුදාධිපතිතුමා ඇතුළු සියළු දෙනා හට ස්තුතිපූර්වක සුභාශිංසන එක් කරන බවත්, එමෙන්ම නුදුරු අනාගතයේදී මෙහි අභිවෘද්ධිය උදෙසා ගත හැකි සෑම පියවරයන් සහ පහසුකමක්ම සැළසීමට රජය සූදානම් බවද එතුමා අවසන් වශයෙන් ප්‍රකාශ කර සිටියේය.

1980 දශකයේ මුල් භාගයේදී රට තුළ පැවති ගැටුම්කාරී වාතාවරණයත් සමග ගොඩබිම් සටහන්වල මනා පුහුණුවක් ලත් කණ්ඩායමක අවශ්‍යතාවය ඉස්මතු විය. ඒ අනුව, 1983 වර්ෂයේදී යාත්‍රික හා ස්වේච්ඡා අංශ වලට අයත් තොරා ගත් නාවිකයන්ගෙන් යුත් කණ්ඩායමක් සකස් කරනු ලැබිණි. මොවුන් වෙරළ තීරයේ සහ ගොඩබිම් ආරක්ෂක රාජකාරී සඳහා අනුයුක්ත කළ අතර, 1997 වර්ෂයේදී විජයබා, වළගම්බා සහ ගජබා යන නම් වලින් නාවික හමුදාවේ ප්‍රථම බලඇණි 3 නිර්මාණය විය. මේ සඳහා නිලධාරීන් 49 ක් සහ නාවිකයන් 3000 ක පමණ පිරිසක් අනුයුක්ත විය. මෙම බළඇණි සඳහා යුධ හමුදාව මගින් බළඇණි පුහුණු පාඨමාලාව ලබා දුන් අතර, පසුව මෙම බළඇණි 3 සෘජුවම ජයසිකුරු ක්‍රියාන්විතය සඳහා අනුයුක්ත කරන ලදී.

2009 වර්ෂයේදී මානුෂීය මෙහෙයුම අවසන් වීමත් සමගම නාවික හමුදාවේ මූලික කාර්යභාර්යයට සහ රාජකාරීන් වලට අනුගත වන අයුරින් නිලධාරීන් සහ නාවිකයින් 5000 ක ගෙන් පමණ යුක්ත නාවික සෙබළ අංශය ප්‍රථිව්‍යුහගත කිරීමට අවශ්‍ය විය. එහි පළමු පියවර ලෙස 2016 වර්ෂයේ මුල් භාගයේදී භූ ජල තරණ ක්‍රියාන්විත පිළිබඳව දින 45 ක විශේෂ පුහුණුවක් ලබා දෙමින් නාවික පුද්ගලයන් 300 කින් සමන්විත ප්‍රථම භූ ජල තරණ කණ්ඩායම සකස් කෙරුණි.

ඉන් අනතුරුව, නාවික සෙබළ අංශයේ තෝරා ගත් නිලධාරීන්ගෙන් සහ නාවිකයන්ගෙන් සමන්විත මැරීන් බළඇණිය සකස් කිරීමට තීරණය විය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය ස්ථාපිත කිරීමේ ප්‍රභල සන්ධිස්ථානයක් වූයේ 2016 මාර්තු මස 29 වන දින ඇමරිකානු නාවික හමුදාවට අයත් “බ්ලූ රිජ්” යුද නෞකාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති මාණ්ඩලික සාකච්ඡාවේදී මැරීන් බළඇණිය පිහිටුවීම සහ එහි පුහුණු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමයි. ඒ අනුව වත්මන් නාවික හමුදාධිපතිතුමන්ගේ අදහසකට අනුව අතිගරු ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදයෙන් මෙම මැරීන් බළඇණිය ස්ථාපනය කෙරුණි. එය සුවිශේෂී හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ඉතා ශක්තිමත් කණ්ඩායමක් ලෙස එය හැදින්විය හැක. භූ ජල තරණ ක්‍රියාන්විතයන් සදහා විශේෂ පුහුණුවක් ලබා ‍ඇති මෙම නාවික පුද්ගලයන් දූපත් රාජ්‍යක් වන අප රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට විශ්මිත අයුරින් මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වේ.

<