තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ. ඒ අනුව, මැදිරිගිරිය කුසුම් පොකුණ පුෂ්පාරාම විහාරය, දියසෙන්පුර බෝධිරුක්ඛාරාම විහාරස්ථානය සහ අභයපුරගම අභයවර්ධනාරාම විහාරස්ථානවල ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ සුරතින් අද (25) ජනතා අයිතියට පත් කෙරිණි. මෙහිදී අදහස් දැක් වු අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍යතුමන්, නාවික හමුදාධිපතිතුමාගේ නායකත්වයෙන් කර ගෙන යන මෙම ව්‍යාපෘතිය මහත් පැසසුමට ලක්කළ අතර, ඉදිරියේදීත් මෙවැනි ව්‍යාපෘති කර ගෙන යාම සඳහා තම පුර්ණ දායකත්වය ලබා දෙන බව වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

මැදිරිගිරිය කුසුම් පොකුණ පුෂ්පාරාම විහාරයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 400 කට හා ස්වාමීන් වහන්සේලා 10 නමකට ද දියසෙන්පුර බෝධිරුක්ඛාරාමය විහාරයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් පවුල් 420 කට සහ ස්වාමීන් වහන්සේලා 08 නමකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබිණි. තවද අභයපුරගම අභයවර්ධනාරාම විහාරයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 350 කට හා ස්වාමීන් වහන්සේලා 06 නමකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබිණි. මේ සඳහා මූල්‍යමය දායකත්වය බුද්ධශාසන ආමාත්‍යාංශය වෙතින් ලබා දුන් අතර,ඒවා ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සාදා නිම කරන ලදි.

මෙම ජල පිරිපහදු යන්ත්‍ර නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලදී. මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 140 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 61,139 කට හා පාසැල් දරු දැරියන් 47,445 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති සාරතී දුෂ්මන්ත මහතා, බුද්ධ ශාසන අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.