සාර්ථක සංචාරයකින් පසු සමුදුර නෞකාව දිවයිනට පැමිණෙයි
 

අමාන් - 2017 නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය 3 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (23) නැවතත් කොළඹ වරායට සේන්දු විය.

එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකාව පිළිගත් අතර, ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ජගත් ප්‍රේමරත්න මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සංචාරයේ ක්‍රියාකාරකම් හා ප්‍රගතිය පිළිබඳ කථාබහක නිරත වූහ. මෙම සංචාරය සඳහා නාවික පුද්ගලයින් 186 දෙනෙකු හා මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ පුද්ගලයින් 8 දෙනෙකු ද සහභාගී වී සිටියහ.

සංචාරය අතරතුරදී අමාන් 2017 - ජාත්‍යන්තර නාවික අභ්‍යාසය, විවිධ ක්‍රියාකාරකම් හා වැඩසටහන් රාශියක් සඳහා නෞකාවේ නැව් මුළුව සහභාගී වූ අතර, ඒ සඳහා රටවල් 36 ක් සහභාගී වී තිබුණි. පෙබරවාරි මස 10 වන දින සිට 14 වන දින දක්වා කරච්චි ප්‍රදේශයේ පැවැත්වූ නාවික අභ්‍යාසයට රටවල් 21 ක නාවික හමුදාවන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර ඇතුළු තවත් විදේශීය රටවලට අයත් නාවික නෞකාවන් 8 ක්ද ඒ සඳහා එක් විය.