කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග ශල්‍ය ඒකකය වෙත නාවික හමුදාව විසින් අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ

"සැමට සුවසෙත" සැලසෙන නිරෝගී ජන සමාජයක් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් පියවරක් අද (3) නිමාවට පත් විය. ඒ අනුව වකුගඩු රෝග ප්‍රතිකාර වලදී රුධිර කාන්දුකරණ (Dialysis) ක්‍රියාවලිය සඳහා උපයෝගී කරගන්නා අති පවිත්‍ර ජලය (Ultra Purified Water) දිනකදී ටොන් 10 ක් නිපදවිය හැකි යන්ත්‍රයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් කොළඹ ජාතික රෝහලේ වකුගඩු ‍රෝග ශල්‍ය ඒකකයේ ස්ථාපිත කරන ලදී.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රය නිපදවන ලදී. වෙලදපොළ වටිනාකම රුපියල් මිලියන 4 - 8 ක් පමණ වන මෙම අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රය රුපියල් මිලියන 2 ක් වැනි අඩු වියදමකින් නිපදවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය සමත්ව ඇත.

ජාතික රෝහලේ සියළුම වකුගඩු රෝග විශේෂඥවරුන්ගේ නොමද පැසසුමට සහ අනුමැතියට පත් මෙම ජල පිරිපහදු යන්ත්‍රයෙන් නිපදවන අති පවිත්‍ර ජලය සඳහා ජාත්‍යන්තර ප්‍රමිති තත්වයට AAMI (Association of Advance Medical Instrumentation) අනුකූලව නිපදවා ඇත. ස්වාධීන ජාත්‍යන්තර රසායනාගාර මඟින් තහවුරු කොට ඇති උසස් තත්වයේ මල නොබැදෙන උපකරණ සහ අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති මෙම යන්ත්‍රය නාවික හමුදාව පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් මසක් වැනි කෙටි කාලයකින් නිපදවීමට සමත්ව ඇත.

මෙම යන්ත්‍රය නිපදවීම වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන සවිබල ගැන්වීමේ නාවික හමුදා ප්‍රයත්නයන්හි මහගූ ජයග්‍රහණයක් වන අතර, ඉදිරියේදී නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් මෙවැනි යන්ත්‍ර 4 ක් අනුරාධපුර, දඹුල්ල, කුරුණෑගල සහ පුත්තලම යන රජයේ රෝහල්හි ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ. මේ දක්වා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 124 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය මහජනතාවට ලබාදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.