“ග්ලෝවීස් ෆීනික්ස්” නෞකාවේ මෙහෙයුම් සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් නාවික හමුදාවට පැසසුම්
 

හම්බන්තොට වරාය පරිශ්‍රයේ පසු ගිය 10 වන දින උද්ගත වු හදිසි තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව “ග්ලෝවිස් ෆීනික්ස්” නෞකාවේ මෙහෙයුම් කටයුතු සඳහා සහාය දැක්වීම සමබන්ධයෙන් ලොව ප්‍රමුඛ පෙළේ වාහන ප්‍රවාහන නෞකා සමාගමක් මෙන්ම එම නෞකාවේ මව් සමාගම වන “හයිහුන්ඩායි ග්ලෝවිස්, කොරියා” සමාගම සිය හෘදයාංගම ස්තුතිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රමුඛ නාවික හමුදාවට පිරිනමා ඇත.

මෙහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව නෞකාවේ මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධ වීම හේතුවෙන් එය ආරක්ෂිතව වරායේ නැංගුරම්ලා තැබීමටත්, කිසිදු බාධාවකින් තොරව වාහන පැටවීමේ සහ ගොඩබෑමේ කටයුතු සිදු කර ගෙන යාමටත් හැකියාව ලැබුණි. එමෙන්ම මෙම අවස්ථාවේදී නාවික පුද්ගලයින් විසින් විවිධාකාරයෙන් දක්වන ලද සහාය හේතුවෙන් එම නෞකා සමාගමට අත්විය හැකිව තිබූ විශාල මූල්‍යමය හා ව්‍යාපාරිකමය අලාභහානිය මගහරවා ගැනීමට හැකි වූ බවද එම සමාගම විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව, සිය ප්‍රසාදය පළකරමින් “Sharaf Shipping Agency” පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී තුමන් විසින් ඉදිරිපත් කර ඇති ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.

ලොව ප්‍රධානතම නෞකා සමාගමක් වන හයිහුන්ඩායි ග්ලෝවිස්, කොරියාසමාගමේ දේශීය නියෝජිත ආයතනය වන අප 2016 දෙසැම්බර් මස 13 වන දින හම්බන්තොට වරාය සේවක වැඩවර්ජනය පවතින කාලයේ අප සමාගමට අයත් වාහන ප්‍රවාහන නෞකාවක් වන ග්ලෝවිස් ෆීනික්ස් වෙත දැක්වූ උසස් සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අපගේ හෘදයාංගම ප්‍රණාමය පුද කර සිටින්නෙමු… තවද, අප මව් සමාගම වන හයිහුන්ඩායි ග්ලෝවිස්, කොරියා සමාගම වෙනුවෙන් නාවික පුද්ගලයන් දැක්වූ උසස් කැපවීම සහ උද්යෝගයන්, ආරක්ෂක කටයුතු මෙන්ම අනෙකුත් උපකාරක සේවා සහ උසස් රාජකාරී කටයුතු සිදු කිරීම හේතුවෙන් අප බලාපොරොත්තු වූවාටත් වඩා කඩිනමින් නෞකාවේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබිණි”.

ඒ අනුව මෙම ක්‍රියාව හමුවේ නාවික හමුදාවෙත් රටෙත් කීර්ති නාමය ජත්‍යන්තර තලයේ පවත්වා ‍ගෙන යාමට හැකියාව ලැබිම සතුටට කරුණකි.