නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (29) සමත් විය. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් මන්ඩතිව්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මන්ඩතිව්, සීනෝර් ජැටිය ආසන්නයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, වල්ලමක්, ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැල් 2 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා මන්ඩතිව් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, උතුරු මැද නාවික නාවික විධානයට අයත්, මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් තල්වුපාඩු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ඩිංගි යාත්‍රාවක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගලක්, මුහුණු ආවරණ 2 ක් සහ තහනම් දැල් 3 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.